Report Menu
All Cards
390. මතකය තුළ වූ වත්කම
- ඉපදුන දා සිට දැනුම රැස් කිරීම වත්කම් රැස් කිරීම සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය වී ඇත
- ජීවිතයේ යම් මොහොතක මතකය නැති වී ගියහොත් එම වත්කම් අපගෙන් ඈත් වන්නේය, ඉවත්ව යන්නේය
- එනම් ජීවිත කාලය පුරා මහන්සි වී සිදු කර ඇත්තේ යම් මතකයක් ගොඩනගා ගැනීම පමණකි
- ඊට අමතරව යමක් ඇත්නම් සසර පැවැත්ම ඇති කරන කර්මයි. එය ද එක්තරා මතකයකි
- දැනුම ලෙස වත්කම් ලෙස යහළුවන් යෙහෙළියන් ලෙස ද මව පියා දරුවන් ලෙස ද පවතින්නේ මතකයක් පමණි
- අතීත ජීවිත වල මෙම මනස තුළ එවැනි නොයෙකුත් වටිනා කම් වලින් යුත් මතකයන් තිබී ඇත
- නමුත් ජීවිත මාරුවීමත් සමඟ එම සියලු මතකයන් අහිමි වන අතර ඉතිරි වන්නේ විපාක පිණිස වූ කර්මයන් ලෙස පවතින මතකයන් පමණි
- වත්කම් රැස්කිරීම ලෙස නැවත නැවතත් සිදු කරනු ලබන්නේ මතකයන් ගොඩ ගසා ගැනීමක් පමණි
- අවසානයේ බලන විට බොහෝ දුක් මහන්සි වී රැස්කර ඇත්තේ හුදෙක් තාවකාලික වූ මතකයක් පමණි
389. සම්බන්ධය
- මේ සිත ප්‍රධාන කොට ගත් ශරීරය මේ ලෝකයට නොයෙක් ආකාරයෙන් සම්බන්ධයන් පවතින්නේය
- ඉදිකට්ට ට නූල ගැලපෙනවා සේ, පෑනට ක්ලිප් එක ගැලපෙනවා සේ, මේ ශරීරයට ගැලපෙන ලෙස ලෝකය ද, ලෝකයට ගැළපෙන ලෙස ශරීරය සකස් වී ඇත
- මවෙක් ඇති විට, දරුවෙක් ඇති විට, ආදරය ලෙස ධර්මතාවයක් පවතින්නේ මවගේ ළමයාගේ පැවැත්ම උදෙසාය
- මේ එක් මවෙකු ට එක් දරුවෙකුට සීමා නොවන අතර සියලු මව්වරුන්ට සියලු දරුවන්ට ක්‍රියාත්මක වන පොදු වූ ලෝක ධර්මතා ය
- ගහකොළ වල ඵල දරන්නේ ය, ඒවා අනුභව කිරීමට මේ කයෙහි කටක් පවතින්නේය
- නොයෙකුත් රූපයන් ඇත්තේය, ඒවා බැලීමට මේ කයෙහි ඇස පවතින්නේය
- නොයෙකුත් ශබ්දයන් පවතින්නේය, ඒවා ඇසීමට මේ කයෙහි කන පවතින්නේය ආදී ලෙසය
- මේ නොයෙකුත් සම්බන්ධකම් විමසා බලන විට පෙනෙන්නට ඇත්තේ අප තුලින්ද අප තුළ ද එම සම්බන්ධයන් ක්‍රියාත්මක වන බවය
- කෙනෙකු පුද්ගලයකු ලෙස නොව නොයෙක් දේට නොයෙක් ආකාරයෙන් සම්බන්ධකම් දරන අප ද සසර ඕගයේ ම කොටසක් බවය
388. වහලය
- හිසට වහලක් පැවතීම සැපයකි, ආරක්ෂාවකි
- සසරට වහල වන්නේ සිදුකළ පුණ්‍ය කර්මයන්ය. එයින් සත්වයාට යම් සැපයක් ආරක්ෂාවක් සැලසෙන්නේ ය
- නමුත් කොපමණ ශක්තිමත් වහලය ක් වුව ද සැමදා පවතින්නේ නැත. ජාති, ජරා, ව්‍යාධි මරණයන් ට ලක් වන්නේය
- නමුත් නියම වහල ගැසීම වන්නේ, වහලය න් ගැසීමට හේතු සකසන පුද්ගලභාවය දුරු කිරීමය
- එවිට සොබා දහම ම බවට පත්වන අතර ආරක්ෂාවක් ලෙස යමක් පැනවෙන්නේ ද නැත
- නොයෙක් ජාතීන් නොයෙක් ශරීරයන් සකස් වන්නේ පුද්ගලභාවය නිසාය. අනෙකුත් සියලු ක්ලේශයන් එය නිසා හටගත් ඒවාය
- ජාති, ජරා, ව්‍යාධි මරණයන් ට නියත ආරක්ෂාව සපයන වහලක් මිහි පිට නොමැත
- එදිනෙදා ජීවිතය තුළ නොයෙකුත් දේ සඳහා නොයෙකුත් ආරක්ෂාවන් යෙදීමට උත්සාහ කළද ඒවා හුදෙක් තාවකාලික පැලැස්තර පමණි. කිසි දිනක සාර්ථක වන්නේ නැත
- මේවා නිතර නිතර මෙනෙහි කළ යුතුය. පුද්ගලයෙක් නොමැති වීම ම පරම වූ වහලය බව දත යුතුය
387. නිවැරදි වීම
- බල්ලෙකුගේ ස්වරූපය ගලක් ගැසු විට ගල දෙසට දිවීමයි
- නමුත් සිංහයෙකු සිදුකරන්නේ ගල දෙසට දිවීම නොව ගල ගැසු අය දෙස හැරී බැලීමයි
- ලෝකය තුළ පවතින අඩුපාඩු අසාධාරණකම් දැකීම එක්තරා ආකාරයකට ගල දෙසට දිවීමක් වැනිය
- නමුත් මෙම භූමියට පැමිණීමට මග සැලසූ සිතෙහි ඇති මෝහය කිසිවෙකුට පහසුවෙන් පෙනෙන්නේ නැත. පෙනෙන්නේ ලෝකය වැරදි ලෙසය
- නමුත් කළ යුත්තේ ලෝකය නිවැරදි කිරීම වෙනුවට එවන් ඉරණමක් උරුම කළ මෝහය දුරු කිරීමයි
- කුණු ගොඩක් අසල රඳවා ඇති පුද්ගලයෙක් මෙතනට කුණු දමන්නේ යැයි දොස් නැගීම අනුවණකමකි. මක්නිසාද ඒ කුණු දමන ස්ථානයක් බැවිනි
- ඇත්තෙන්ම එහි වැරදි කාරයා වන්නේ කුණුගොඩ අසල රැඳීමට උපක්‍රම යෙදූ අයය
- තවද අප සිතන ආකාරයෙන්ම ලෝකය නිවැරදි වූයේ නම් සියලු ප්‍රශ්න අවසන් වන්නේද?
- නොවේ නම් එහි අදහස වන්නේ ලෝකයේ කිසිසේත් නිවැරදි කළ නොහැකි බවයි. ඒ වෙනුවට තමාම නිවැරදි විය යුතු බවයි
386. කාය ස්පර්ශය
- යම් විටෙක සිටගෙන සිටීමට වඩා වාඩිවීම යම් පහසුවකි
- එසේ වාඩි වන්නේ කායික අපහසුතාවය නිසාය
- අසුනකට වෙල්වට් යොදා කොපමණ සැප පහසුවට සකස් කළත් වාඩි වී ටික වේලාවකින් කායික අපහසුතාවය දැනෙන්නේ ය
- මක්නිසාදයත් ප්‍රශ්නය පවතින්නේ කයේ බැවිනි
- අසූචි, රත්තරන් බඳුනක තැබුව ද සුගන්ධයක් හමන්නේ නැත. හමන්නේ දුර්ගන්ධයම ය
- අසූචිය, රන් බඳුනක තැබුව ද වෙනසක් සිදුවන්නේ නැත
- එලෙසම අසූචි කඳක් වන් මේ ශරීරයට සැප පහසුව ආදිය සැලසීමට තැත් කිරීමෙන් වැඩක් නැත
- විශාල මුදල් වැය කර කොපමණ සැප පහසු වාහන ආදිය භාවිතා කළ ද වෙනසක් සිදුවන්නේ නැත
- මක්නිසාද අපහසුතාවය පවතින්නේ කයේම බැවිනි
385. මහජන සම්පත
- මහජන සම්පත ආදී ස්වීප් ටිකට් පතක පළමු දිනුම ඇඳීම බොහෝ දුර්ලභ කාරණයකි
- ජීවිත කාලයක් ටිකට් මිලදී ගත්තද නොවිය හැකි කාරණයක් විය හැකිය
- තවද සංවර්ධන වාසනාව ශනිදා වාසනාව මහජන සම්පත ආදී ටිකට් වල පළමු දිනුම ජීවිත කාලය තුළ එක් පුද්ගලයකුට හිමිවීම කිසිසේත් අපේක්ෂා කළ නොහැක
- තවද ඒවායේ පළමු දිනුම එක දිනක් තුළ එක් පුද්ගලයකුට ලැබීම හිතා ගත නොහැකිය
- නමුත් ඊටත් වඩා බොහෝ දුර්ලභ කාරණයක් ඇත
- මනුසත් බව ලැබීමම දුර්ලභය
- බුද්ධ ශාසනයක් ලොව පහළ වීම අති දුර්ලභය
- එසේ ඇති වූ බුද්ධ ශාසනය අපට හිමිවීම, ධර්මය අසන්නට ලැබීම, ධර්මය තුළ නියැලීමට සිත් පහළවීම, මාර්ග ඵල ආදිය අවබෝධ වීම දුර්ලභය
- මේ මොහොත එම සියලු දුර්ලභ කාරණා එක විට සිදුවූ මොහොතකි. එම නිසා ලැබුණු අවස්ථාව කිසිසේත් මගහැරීම සිදු නොකළ යුතුය
384. ෆිල්ම් එක
- ෆිල්ම් එකක් තුළ රඟ දැක්වෙන්නේ බොරුවක් වන අතර බොහෝ විට අයෙකුගේ හිතේ ඇතිවූ ප්‍රබන්ධයකි
- යම් උපකරණයක් අලෙවි කිරීමේදී නැති දෙයක් ඇතැයි කියමින් අලෙවි කිරීම පාරිභෝගිකයා මුලා කිරීමකි
- මෙහිදී අලෙවිකරුවා පාරිභෝගිකයා රවටන නමුත් පාරිභෝගිකයා රැවටීමට අකමැති අයෙකි
- චිත්‍රපටයක් තුළ සිදුවන්නේ ද නැති දෙයක් ඇති ලෙස පෙන්වමින් රඟ දැක්වීමකි
- එහිදී ද සිදුවන්නේ ද පාරිභෝගිකයා රැවටවීමයි
- නමුත් මෙහිදී පාරිභෝගිකයා රැවටීමට කැමති අයෙකි
- එනම් චිත්‍රපටය යනු රවටන නමුත් කැමැත්තෙන් රැවටෙන අවස්ථාවකි
- බොහෝ වේලාවක් වැය කර මුදල් ගෙවා රැවටීමට පත්වීම උන්මත්තක බාවයකි
- එලෙසම තමන්ද රංගනයේ යෙදෙමින් කැමැත්තෙන් රැවටෙන චිත්‍රපටය මම ලෙස සකස් වූ චිත්‍රපටයයි
383. ළඟට පෙනෙන අඩුපාඩුව
- මේ ලෝකයේ ඇති බොහෝ දේ පරිපූර්ණ ලෙස මනසට ගෝචර වේ
- එලෙස පෙනීමේ ධර්මතාවය මෝහයයි
- එම මෝහය තුළ නැති සැපයක් මවා පෙන්වීමෙන් සත්වයා සංසාරය තුළ මුළා කරවයි
- නමුත් ළංකර බැලූ විට අඩුපාඩුවක් නොමැති කිසිදු වස්තුවක් නොමැත
- උදාහරණයක් ලෙස පොඩි දරුවෙකුගේ අතපය වුවද සියුමැලි ලෙස පෙනුනද ලංකර බැලූ විට විශාල වලවල් ආදී ලෙස දර්ශනය වේ
- ලස්සනට පෙනෙන බිත්තියක් වුවද ළංකර බැලූ විට කඩතොලු, රළු භාවය, තින්ත නොගෑවුණු ස්ථාන හොඳින් දර්ශනය වේ
- සිත නිවන සොබා දහමේ දර්ශනයක් වුවද ළංකර බැලූ විට එසේ ලස්සනක් නොපෙනෙන අතර බොහෝ අඩුපාඩු දක්නට ලැබේ
- ජංගම දුරකථන, රූපවාහිනී ආදිය වරු ගණන් නැරඹීම සිදුකළ ද ලං කර බැලූ විට පෙනෙන්නේ නොයෙක් වර්ණයෙන් යුත් කුඩා කොටුය
- මේ ආකාරයෙන් ඕනෑම දෙයක් වඩා ළංකර බලන විට බොහෝ අඩුපාඩු පෙනෙන අතර ඇලීමේ ස්වභාවයට ප්‍රබල පහරක් එල්ල වනු ඇත
382. කෙසෙල් කඳ
- අරටුව ඇතැයි සිතා උඩින් යටින් කැපු විශාල කෙසෙල් කඳක පතුරෙන් පතුර ඉවත් කළද හරයක් හමුවන්නේ නැත
- නමුත් එය සිදුකර අවසානයේ හරයක් නැතැයි සිතීම අනුවණ ක්‍රියාවකි
- යම් අයෙක් කෙසෙල් කඳ කැපීමට ප්‍රථම හරයක් නැති බව මනසින් දකින්නේ නම් එය ශ්‍රේෂ්ඨය
- ඔහු නිස්කාරණයේ තම කාලය නාස්ති කරන්නේ නැත
- එලෙසම ඉපදුන දා සිට අප නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුකර ඇත
- නමුත් ඒ කිසිවක හරයක් තිබී නැත
- ඒ බව සියල්ල සිදුකර අවසානයේ වැටහීමෙන් පලක් නැත
- ඒ ක්‍රියාවන් සිදුකිරීමට ප්‍රථම යෙන් ඒවායේ හරයක් නොමැති බව දැකිය යුතුය
- නැතහොත් ජීවිත කාලය පුරා කෙසෙල් කඳන් වල පතුරු හරින අනුවණයෙකු වනු ඇත
381. දුකට හේතු වන මගේ කම
- වතුර නොමැතිව සාගරයක් පවතින්නේ නැත
- එලෙසම දුකක් නොමැතිව මමෙක් පවතින්නේ ද නැත
- මමෙක් ඇති විට හේතු ප්‍රකාරව මගේ යන සංකල්පය ගොඩනැගේ
- මගේ යන සංකල්පය ඇති විට මාගේ දේවල් ද ඒවා ඇති විට ඇති විට තණ්හාව ආශාව ආදි ක්ලේශයන් ගොඩනැගේ
- මගේ ලෙස පවතින සියලු දේවල් ඉවත් කළද ඒවා ඉවත් කලේ මම ලෙස නැවත මම යන සංකල්පය ගොඩනැගේ
- එම නිසා මගේ දේවල් ඉවත් කිරීමෙන් පමණක් දුකෙන් මිදීමක් අපේක්ෂා කල නොහැක
- නමුත් මම යන මෝහය ඉවත් කළ විට ඒ හා බැඳුණු මගේ යන සංකල්පය ද ඒ ආශ්‍රිත සියලු දුක්ඛයන් ද දුරු වීම සිදුවේ
- බුද්ධ ශාසනය තුළ සිදුවන්නේ කෙටියෙන් මම යන මෝහය ඉවත් කිරීමයි
- එවිට මගේ යන තණ්හාව මෙන්ම යටත් සියලු දුක්ඛයන් දුරින් දුරුවීම සිදුවේ
380. ගුණය
- කොහොල්ල තැවරුණු අතක නොයෙක් දේ ඇලීම සිදුවේ
- එලෙසම මෝහය සහිත සිත තුළ නාම රූප ඇලීම සිදුවෙයි
- තැවරී ඇති කොහොල්ල ප්‍රමාණය වැඩි වූ විට ටික ටික බොහෝ වේලා කොහොල්ල ඉවත් කිරීමට සිදුවේ
- එවන් කාරියක් සිදුකිරීමට ද යම් ඉවසීමක් පැවතිය යුතුය
- නමුත් ඊට වඩා බොහෝ සංකීර්ණ බොහෝ පැටලුම් සහිත නූල් බෝලයක් වන් මෙම මනස වටහා ගැනීම බොහෝ අපහසු කාරියකි
- මේ සඳහා මනා වීරියක්, දරාගැනීමේ ශක්තියක් ආදී බොහෝ ගුණයන් ආදී පුරුදු කළ යුතුය
- එයට කිසිම සම්බන්ධයක් නැති ලෙස පෙනුණත් කරුණාව මෛත්‍රිය ඉවසීම ආදී ගුණ ප්‍රගුණ කිරීම ප්‍රයෝජනයක් නැති ක්‍රියාවක් ලෙස මුලදී වැටහේ
- නමුත් එම ගුණ සහිත පුද්ගලයාට කොපමණ පැටලිලි සහගත මනසක් වුවද මනාව දමනය කිරීමේ නිවනට සිත පමුණුවා ගැනීමේ හැකියාව ලැබේ
- එම නිසා තථාගත ශ්‍රාවකයා ගුණ වැඩීම සිදුකළ යුතුය. එවිට බොහෝ සංකීර්ණ ලෙස වැටහෙන මාර්ගය ඉතා පහසුවනු ඇත
379. ජලය සහ ශරීරය
- ජලය ඉවත්ව ගිය පසු මේ ශරීරය විජලනය වන්නේය
- කුණු කරවල කෑල්ලක් වැනි ස්වභාවයකට පත් වන්නේය
- හතර හන්දි වැඩ කරන්නේ ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ ශරීරය තුළ අන්තර්ගත ජලය හේතුවෙනි
- වර්ණවත් බව පුෂ්ටිමත් බව කාය ශක්තිය හිමිව ඇත්තේ ද මෙම කයෙහි ජලය පවතින තුරු පමණි
- සංසාරය පුරා අප පරිහරණය කර ඇත්තේ වේලුණු කරවලයක් වැනි මෙවන් ශරීරයන් ය
- බොහෝ රෝග පීඩාවන්ට පහසුවෙන් ගොදුරු වන මෙම ශරීරය, නඩත්තු කිරීමට බොහෝ වෙහෙසක් ගත යුතුය
- කොපමණ නඩත්තු කළද මෙම ශරීරය තුළ හටගන්නා දුක අඩු කිරීම මිස මෙම ශරීරයෙන් අපට ලැබෙන සැපයක් නැත
- ශරීරය තුළට ජලය ඇතුල් කරමින් ජලය ඉවත් කරමින් මේ ශරීරයෙහි සිදුවන විපර්යාසය මනසින් මෙනෙහි කළ යුතුය
- බොහෝ ධර්මයන් අවදි කර ගත හැකිවනු ඇත
378. දැඩි විශ්වාසය
- නිවන් මාර්ගය යනු අපට පුරුදු සුපුරුදු පාරක් නොවේ
- බොහෝ විට වැරදීමට මුලාවීමට ඉඩකඩ ඇත
- එයට හොඳම සාක්ෂිය වන්නේ මෙපමණ දීර්ඝ සංසාර ගමන තුළ තවමත් නිවන් නොදැක සිටීමය
- මේ සිත එම සියලු භවයන්හිදී අපව මුලාවට පත් කර ඇත
- කොළඹ යෑම සඳහා පිටත් වූ පුද්ගලයෙක් මාර්ගය තමා දන්නේ යැයි, කිසි ලෙසකවත් නොවරදින්නේ යැයි සිතන්නේ නම් මාර්ගය වැරදීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇත
- තවත් පුද්ගලයෙක් තමා මාර්ගයේ දන්නේ නමුත් මාර්ගය වැරදීමට ඉඩකඩ ඇතැයි සිතන්නේ නම් ඔහුට මාර්ගය පහසුවෙන් වරදින්නේ නැත
- මක්නිසාද ඔහු ගමන් කරන්නේ වඩා විමසිල්ලෙන් සහ මාර්ග නගර ආදී නම් සඳහන් පුවරු කියවමින් වඩා සැලකිලිමත්වය. ඒ හෙයින් ඔහුට පහසුවෙන් මග වරදින්නේ නැත
- එලෙසම නිවන් මාර්ගය පිළිබඳව ආවේගශීලී විශ්වාසයෙන් යුතුව නොවරදින්නේ යයි සිතන්නේ නම් මග වැරදීම් වීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇත
- නමුත් නිරතුරුව තමන්ට මේ මොහොතේ වුවද වැරදිය හැකිය සිතමින් මාර්ගය වඩන්නා හට පහසුවෙන් නිවන් මාර්ගය වරදින්නේ නැත
377. තරහව
- තරහව යාමනය කිරීම සඳහා තවත් ක්‍රමයක් පහත පරිදි වේ. මෙය රළු මට්ටමේ සිටීමේ ක්‍රමයකි
- සකස් වී ඇති ආකාරය අනුව තරහ හට ගත් විට, මෙය සකස් කර ඇති ආකාරය වැරදිය, ආදී ලෙස උගැන්වූ අය එම තරහවේ පංගුකාරයන් ය
- තරහව යෑම සඳහා හේතු සකස් කළ දුරකථන ටීවි රේඩියෝ ආදී මාධ්‍යය ද ඒවා සකස් කළ අයද තරහවේ පංගුකාරයන් ය
- එවිට ඒවා දියුණු කිරීමට උත්සාහ ගත් සියලු ආයතනද එයට සම්බන්ධ සියලු මිනිසුන් ද එම තරහවේ පංගුකාරයන් ය
- හරි දේ වැරදි දේ ලෙස ලෞකික ඉගැන්වීම් සිදුකළ සියලු ගුරුවරුන් ද එම තරහවේ පංගුකාරයන්ය
- මෙය මෙසේ විය යුතුය, එය එසේ විය යුතුය, ලෙස සමාජයේ මතයක් සකස් කළ අයද තරහවේ පංගු කාරයන් ය
- සියලු සිදුවීම් සිදුවන්නේ හිරු එළිය හේතුවෙනි. එම නිසා හිරු එළිය ද එම තරහවේ පංගුකාරයෙ කි
- පිරිසිදු වාතාශ්‍රය තුළින් ද මේ ශරීරයෙන් නඩත්තු වන්නේය. එනම් යම් වරදක් කිරීම එය වරද හඳුනාගැනීම වාතාශ්‍රය නිසා සිදුවන්නේ ය. එම නිසා පිරිසිදු වාතාශ්‍රය ද එම තරහවේ පංගුකාරයෙකිමෙසේ දානයකට සම්බන්ධ වූ සියලු දෙනාට පින් පමුණුවනවා සේ හටගත් තරහ එයට සම්බන්ධ සියලු දෙනා අතර බෙදා දුන් විට තම සන්තකයේ පවතින්නේ නොසැලකිය හැකි කොටසක් බව පෙන්වා දිය යුතුය
376. කම්පනය
- අතීතය අනාගතය යනු මතකය හා පට බැඳුණු දෘෂ්ටියකි
- සත්වයා සතුව මතකය නම් කාරණයක් නොතිබුණේ නම් අතීතයක් අනාගතයක් පනවන්නේ කෙසේද
- යම් ශබ්දයක් කම්පනයක් ලෙස ගසකට දැනෙන්නේය
- නමුත් එම ඇතිවූ කම්පනය අනාගතයේ කිසි දිනක හෝ අතීතයේ කිසි දිනෙක ගසට නැවත දැනෙන්නේ නැත
- ඒ මොහොතේ ඇතිවී නැතිවී ගියා මිස ඇතිවීමට පෙර එම කම්පනයට අතීතයක් හෝ එම කම්පනයට අනාගතයක් පවතින්නේ නැත
- මෙය සත්වයකුගේ කනට ඇසුණු පසු මතකය නිසා වැරදි වැටහීම් නිසා නොයෙක් ආකාරයෙන් හඳුනා ගැනීම හේතුඵල ප්‍රකාරව සිදුවේ
- එලෙසම එහි අතීතය අනාගතය ලෙස දෘෂ්ටිගත වීමද සිදුවේ
- ඉහත පරිදි අජීවී දෙයකට එම ශබ්දය දැනෙන ආකාරය මෙනෙහි කොට එහි අතීත අනාගත ගොඩනැගීම විමසා බැලිය යුතුය
- එය සත්වයෙකුට ගැලපීම මගින් සත්වයෙක් තුළ ගොඩනැඟෙන අතීත අනාගත දෘෂ්ටිය වඩා පැහැදිලි කර ගත හැක
375. අඩුපාඩු
- එදිනෙදා ජීවිතයේදී බොහෝ විට අන් අයගේ වැරදි හා අඩුපාඩු විවේචනය කිරීම පෘථග්ජන සිතක ස්වභාවයයි
- යමෙකු අඩුපාඩු සහිත අප්‍රිය පුද්ගලයෙකු ලෙස සැලකුවද එය ඇත්තක් නම් වෙනත් අයෙකුට ඔහු ප්‍රිය වීම විය නොහැක
- යම් අඩුපාඩුවක් යමෙකු තුල සත්‍ය වශයෙන්ම වී නම් සියල්ලටම එම පුද්ගලයා අප්‍රිය විය යුතු වේ
- සියල්ලන්ගේම අඩුපාඩු පුද්ගල අනුබද්ධ වන අතර තම සිතෙහි කෙලෙස් මට්ටමට සාපේක්ෂය
- යමෙකු ඇඳි වස්ත්‍රයක් කෙනෙකු හෙළා දකිනා විට තවත් කෙනෙකු එයම වර්ණනා කරන්නේ එම ලස්සන දුටු දෙය තුළ නොව දුටු සිත තුළ වූවක් බැවිනි
- එලෙසම සියලු අඩුපාඩු පවතින්නේ ද බාහිරය තුළ නොව තම සිත තුළමය
- හේතුව සහ ඒ හා බැඳුණු ඵලය මිස ඇත්තෙන්ම අඩුපාඩු ලෙස දෙයක් ලෝක ධර්මය තුළ නැත
- මෙහිදී අඩුපාඩු ලෙස සඳහන් කරන්නේ නිවන් දැකීම වළක්වන අවහිර කරන හේතුන් වන අතර එහි ඵලය ලෙස පිරිනිවීම සිදුවේ
- අඩුපාඩු ද හේතු ඵල ලෙස දකින විට අඩුපාඩු අඩුපාඩුවක් නොවී ලෝක ධර්මතාවයක් ලෙස වැටහෙනු ඇත
374. ඔබේ පැවතීම
- ලෝකයේ පවතින සියල්ලම ධර්මයන් ය
- එසේ ධර්මයක් නොමැති නම් ලෝකය තුළ ඒවා නොපැවති ය යුතුය
- නිරයට යන ධර්මයන් නිවනට යන ධර්මයන් ආදී ලෙස එක් අරමුණට සාපේක්ෂව ධර්මයන් පවතී
- මිනිසකු වීමට, මුවෙකු වීමට, දෙවියකු වීමට ආදී ලෙස සකස් කල යුතු කර්මයන් හා බැඳුණු ධර්මයන් පවතී
- සරලව තථාගත ශාසනය තුළ ධර්මයන් ලෙස සඳහන් කරන්නේ නිර්වාණය අරමුණු කොට ගත් ධර්මයන් ය
- ඔබ පවතින්නේ නම් ඔබ තුළ පවතින්නේ සක්කාය දෘෂ්ටිය සමඟ මුසු වූ පැවැත්මට අදාළ ධර්මයන් ය
- එළිය අඳුර එක විට පැවතිය නොහැක
- එලෙසම නැවැත්ම ට අදාළ සක්කාය දෘෂ්ඨියෙන් තොර වූ ධර්මයන් ඒ තුළ පැවතිය නොහැක
- එනම් ඔබ පවතින්නේ නම් ධර්මය ඔබ තුළ නොපවතින්නේය
373. මළකුණ
- දඬුවමක් ලෙස පිටේ බැඳි මළකුණක් ඇති විට පිළිකුල දුර්ගන්ධය භීතිය තෙහෙට්ටුව පවතින අතර ලිහා දමන තුරු සැනසීමක් නැත
- අප මෙම කය දරා සිටීමෙහි සහ ඉහත කාරණයෙහි කිසිදු වෙනසක් නැත
- මෙම කය දරාගෙන සිටීමට සිදුවීම ම බරපතල දඬුවමකි
- මේ මළකුණෙන් සංසාරයේ කිසිදු දිනක අපට ගැලවීමට ලැබුණේ නැත
- නිරතුරුව රාගයෙන් මත්වන මෙම සිත තෘප්ත කිරීමට යන සෑම අවස්ථාවකම කීර්තිය නැතිවීම, ධනය නැතිවීම, නොයෙකුත් කර්මයන් උත්පාදනය වීම ආදී ලෙස දුකින් දුකට පත්වීම සිදුවේ
- සංසාරේ සෑම කාලයකම වහලෙකු ලෙස නොයෙක් වැඩවල නියැලුණත් සම්ප්‍රයුක්ත වශයෙන් අතේ පිච්චියක් ඉතුරු වූයේ නැත
- මේ සියලු ප්‍රශ්නවලට නියත විසඳුම් පවතින තථාගත සාසනයේ බොහෝ වටින්නේය
- බොහෝ විට එහි වටිනාකම වැටහෙන්නේ තරුණකම බලය ගිලිහී ගොස් ඔත්පල වන විටය
- තම තම පිළිසරණ තම තමන් සකසා ගත යුතුය. දිනපතා මෙනෙහි කළ යුතුය
372. අවසන් ගමන
- උපතේදීම ස්ථීර ලෙස කෙනෙකුට අපේක්ෂා කල හැකි ඵකම දෙය නම්, අවසන් ගමන, මරණයයි
- නමුත් එම මරණය නැවත ඉපදීමකට හේතු වන බැවින් අවසන් ගමනක් නොවේ
- අනවරාග්‍ර සංසාර ගමන තුළ තවත් පියවරක් පමණි
- අතීත මුතුන් මිත්තන් කතරගම, ශ්‍රී පාදය ආදිය වැඳ පුදා ගැනීමට යන අවස්ථාවල තම දේපළ ලියා දී ඒවායින් නිදහස් වීම සිරිතක් ලෙස සිදුකර ඇත
- එලෙසම මාර්ගය වඩන අයෙකු සියල්ල අතහැර ඕනෑම වෙලාවක මරණයට සූදානම් වී සිටිය යුතුය
- ඉතා වේගයෙන් ළදරු, ළමා, යොවුන්, තරුණ, වැඩිහිටි හා මහළු අවධීන් සියල්ල අවුරුදු කිහිපයක් තුළ ගෙවී යන්නේය
- උපන් සියලු සත්වයන් අකමැත්තෙන් වුවත් මරණයට පත්වීම සිදුවිය
- අතීත කිසිවෙකු කුමන උපක්‍රමය යෙදුවත් මරණයෙන් ගැලවීමට ලැබුණේ නැත. අප ගැන කවර කතාද?
- මේ ආකාරයෙන් මරණය මෙනෙහි කොට, සසර බිය උපදවා මරණයට සූදානම් විය යුතුය
371. රැවටවීමද රැවටීමකි
- සසරෙහි උපත සිදු වන්නේ රැවටීමක ප්‍රතිඵලයක් ලෙසිනි
- ඵම රැවටීම නම්, ඇති දේ ලෙසද නැති දේ ලෙස ද පනවා ගනිමින් ඒවා සමග පොර බදිමින් සිදුවන මුලාවීමකි
- වෙනත් ආකාරයකින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදිය තුළ ඇති යථා ස්වභාවය නොවැටහීම ක් ලෙසද දැක්විය හැකිය
- අයෙක් තුළ මෙම මුලාව ඇත්නම් පහසුවෙන් රැවටෙන්නේ ය
- තවද තවත් අයෙකු රවටා තමන්ට යම් වාසියක් අත් කරගත හැකි යැයි සිතක් පහළ වේ නම් එයද තවත් එක්තරා රැවටීම කි
- එනම් තවත් අයෙකු රැවටීමට තමාද රැවටුණු පුද්ගලයෙකු විය යුතුය
- කිසිවකට නොරැවටුණු අයෙකු අන් අයකු රැවටීම යන රැවටීමට හසුවන්නේ නැත
- ලොකුම රැවටීම වන්නේ කෙනෙකු පුද්ගලයෙක් ඇත යන රැවටීමයි
- එම රැවටීමට නොරැවටුණු අයෙකු වෙනත් කිසිවකට රැවටෙන්නේ නැත