Report Menu
All Cards
256. සිහිනය
- මනසට බලපෑමක් නොවන විට මනස, මනසෙහි ස්වභාවයෙන් පෙනී සිටීම සිහින තුලදී සිදුවේ. මෙමගින් මනසේ ස්වභාවය මෙන්ම සසරේ ස්වභාවයද මනාව අපෝහනය කර ගත හැක
- සිහිනය තුළට යන මාර්ගයක්, විශාලත්වයක්, තිබෙන දිශාවන් ආදියක් පැනවීම කළ නොහැක
- එබැවින් සිහිනය යනු කරුණු සහිතව ඔප්පු කළ නොහැකි, නමුත් ඇත්තෙන්ම පවතින ගුප්ත කාරණයකි
- වෙනත් ආකාරයකින් කිවහොත් හේතූන් අනුව හටගෙන හේතු නැති වූ විට නිරෝධ වී යන තවත් ධර්මයකි
- එලෙසම නිරය ලෝක, දිව්‍යලෝක ආදියද කරුණු සහිතව ඔප්පු කල නොහැකි වුවත් එලෙසම විය යුතු අතර ස්වභාවයද එවැනිම විය යුතු ලෙස අපෝහනය කළ හැකිය
- හොඳින් නිරීක්‍ෂණය කළහොත් අතීත මතකයන් අත්දැකීම් මෙන්ම රුචිකත්වයන් ආදියද සිහින තුළ මිශ්‍රව පවතින බව දැක ගත හැකිය
- එක්තරා ආකාරයකින් සිහිනය යනු විපාකයක් වන අතර මෙම සිහින සකස් කරන්නේද ඒවායේ ඇති සියලු චරිත වලට පණ ලබා දෙන්නේද මේ මායා සහගත සිත විසිනි
- මේ සිතට නොයෙකුත් උප්පත්ති භූමි නිර්මාණය කළ හැකි අතර ඒ තුළ අපව සතුටු කරවීම, තැති ගැන්වීම, බිය ගැන්වීම ආදී ඕනෑම දෙයක් මානසික ලෙස කළ හැකිය
- මේ සිත පිළිබඳව සුළු කොට නොසැලකිය යුතුය. කලකිරීම ඇතිකර ගත යුතු අතර හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන ලෙස වහා නිරෝධ කළ යුතු ය
255. දැනගැනීම
- අපට මේ කය භාවිතයෙන් කළ හැකි දෙයක් ඇත්නම් එය සීමා සහිතය
- සිදුකළ හැක්කක් ඇත්නම් කායික ක්‍රියා ලෙස අතපය ඔලුව ආදිය චලනය කිරීම, වචනය ලෙස ශබ්ද පිට කිරීම සහ සිත ලෙස යම් සිතීමක් සිදු කිරීම මිස වෙනත් කළ හැකි කිසිවක් නොපවතී
- මේ කය අනුබද්ධ විපාක ලැබීමක් ඇත්නම් කර්ම රැස්වීමක් ඇත්නම්, එය සිදුවිය හැක්කේද ඉහත පටු වූ රාමුව තුළ පමණි
- මෙම සියල්ල නිරීක්ෂණය කළ විට අවසානයේ සිදුවී ඇත්තේ කුමක් හෝ දැන ගැනීමක් සිදුවීමය
- පෙනුණොත් පෙනුණ බව දැන ගැනීම, ඇසුණොත් ඇසුණු බව දැන ගැනීම, දැනුණොත් දැනුණු බව දැනගැනීම, සිතුණොත් සිතුණු බව දැන ගැනීම ලෙසය
- එසේම එම දැනගැනීම කැමති දැන ගැනීමක් ලෙස හඳුනාගත් විට සැප ලෙසද, අකමැති දැන ගැනීමක් ලෙස හඳුනාගත් විට දුක ලෙසද, එය තමන්ට සිදුවූවක් ලෙසද, තමන් යැයි ලෙසද මුලාව සහිතව සිත තුළ වර්ගීකරණයක් සිදුවේ
- මෙමගින් ද්වයතාවය සහ එමඟින් ප්‍රපංචයන් ද ගොඩනැගෙන අතර එය තුළ නැවත ඉපදීම ආදී සංසාර දුක්ඛයන්ට හේතු සකස්වේ
- දැනගැනීම සිදුවන ආකාරය යනු සම්මා දිට්ඨියේ පදනම වන අතර එය දෝෂ සහගත වූ විට සත්වයා දුකට පත්වේ
- සියල්ලටම පදනම වූ දැනගැනීම යනු දැන ගැනීමක් පමණි. එපමණකි
254. නොපෙනෙන ඇබ්බැහිය
- මනස යනු අපට කිසිම අයිතියක් නැති අනාත්ම වූ ධර්මතාවයකි. නිශ්ඵල වුවද නොයෙකුත් දේ දැන ගැනීමට මනස කැමැත්තක් දක්වයි. බොහෝ විට මෙය ඇබ්බැහිවීමක් ලෙස මනසෙහි පවතී
- යම් ශබ්දයක් කන ගැටුණු විට ඒ කුමක්දැයි දැන ගැනීමේ කැමැත්තක් හෝ කුතුහලයක් පහළ වෙයි
- කිසිදු ලාභයක් නැතත්, ඒ දෙසට හිස හරවා නෙත් යොමා එය දැන ගැනීමට උත්සාහ කිරීමක් සිදුවේ
- යම් පිරිසකගේ සිනහවක් කතා බහ ආදියක් කන ගැටෙන විට ඒ කවුදැයි, කුමක් දැයි, කුමක් සඳහා දැයි ආදී ලෙස විමසීමක් මනස තුළ ඇතිවේ
- ඒ සමඟ එය දැන ගැනීම පිණිස සිත තුළ පීඩනයක් හට ගනී
- මෙම මානසික මට්ටම, සිදුකළ විදර්ශනාවන් ප්‍රගුණ කිරීමට කදිම අවස්ථාවක් කරගත හැකිය
- එම දැනගැනීම වෙනුවට එම දැනගැනීම හා සම්බන්ධ නිශ්ඵලභාවය, ඒ හා සම්බන්ධ දෝෂයන් පැහැදිලිව හඳුනාගෙන සිතට පෙන්වාදීම සහ ප්‍රහාණය කිරීම නැවත නැවත සිදු කළ යුතුය
- මෙවිට සිත හොඳින් භාවිතා වීම, පුහුණුවීම සිදුවන අතර මනස හොඳින් හඳුනාගත හැකි වනු ඇත
- ප්‍රීතිය ආදියද උපදින අතර නිර්වාණය පිණිස බොහෝ උපකාරයක් වනු ඇත
253. අවශ්‍යතාවය
- දෑකැත්තේ අවශ්‍යතාවය ගොයම් කැපීම් ආදියක උවමනාව ඇති විටය
- වාහනයක අවශ්‍යතාවය ගමන් යෑමේ වුවමනාවක් ඇති විටය
- වුවමනාවන් ඇති විට ඒ හා පට බැඳුණු අවශ්‍යතා එකින් එක ඉෂ්ට කිරීමට සිදුවීම ලෝක ස්වභාවයකි
- අවශ්‍යතාවය යනු උපමාවක් ලෙස දුකට කාන්දමක් වැනිය. අන් ආකාරයෙන් දුකට කෙරෙන සුහද ආරාධනයකි
- ජලයේ අවශ්‍යතාවයක් ඇතිවිට ඒ හා බද්ධව පවතින සිසිලස, තෙතමනය, ගලා යෑම ආදී ලක්ෂණද ඒ හා මුසු වී පැමිණීම සිදුවේ
- එම ලක්ෂණ වෙන් කර ජලය පමණක් ලබා ගැනීමේ ක්‍රමයක් නොපවතී
- එලෙසම අවශ්‍යතාවය උවමනාව පවතින විට ඒ හා සමග කනස්සල්ල ඉච්ඡාභංගත්වය පීඩාව ආදී නොයෙකුත් දුක් කම්කටොළු නිරායාසයෙන් පැමිණීම සිදුවේ
- තවද අවශ්‍යතාවය වුවමනාව ආදිය යනු කාලය ගිල දමන භූතයන් වැනිය
- යම් යම් අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමට පොර බදන විට එමගින් ඔබට නොදන්වාම ඔබගේ බොහෝ කාලයක් ගිල දමනු ඇත
252. ප්‍රේත ලෝකය
- අපගේ හිතවතුන්, ඥාති මිත්‍රයන් ආදී මිය යන බොහෝ මිනිසුන් යලි උපදින්නේ ප්‍රේත ලෝකවලය, යන්න අප විශ්වාස කළත් නොකළත් සත්‍ය කාරණයකි
- ඥාති ප්‍රේතයන්ට පින්දීම ආදී ලෙස පුණ්‍ය කර්ම සිදු කරන්නේද එබැවිනි
- අප කිසිවෙකුට වරදක් කරන්නේ නැත, අප පින් කරන්නේය, එම නිසා අප ප්‍රේත ලෝකවල උපදින්නේ නැත යන්නද එක්තරා මිත්‍යා දෘෂ්ටියකි
- මිහිපිට ඇති යථාර්ථය යළි යළිත් ප්‍රේත ලෝකවල ඉපදීමයි. සතර අපාය අපගේ මහ ගෙදර වී ඇත්තේ එම නිසාය
- ප්‍රේත ලෝකයේ යෑමට අමුතුවෙන් අකුසලයක් කළ යුතු නැත
- මම, සිත, ලෝකය ආදිය පිළිබඳ තවම හඳුනා නොගත් වැරදි වැටහීම් අපගේ සිත් වෙලාගෙන ඇත
- මරණ මංචකයේ වඩා බලවත් අකුසලය වන්නේ මෙම වැරදි වැටහීම්ය
- ඒ හේතුවෙන් ප්‍රේත ලෝකවල යෑමට, වැරදි වැටහීමක් පැවතීමම බලවත් කර්මය වන අතර එය හොඳටම ප්‍රමාණවත්ය
- තථාගතයන් වහන්සේ මිථ්‍යා දෘෂ්ටිය යනු බලවත් අකුසලයක් බවද එය වහා දුරු කළ යුතු බවද පෙන්වා දී ඇත්තේ එබැවිනි
251. තථාගතයන් වහන්සේ
- පොඩි දරුවෙකුට මහාචාර්යවරයකුගේ මානසික මට්ටමක් වටහා ගත නොහැක
- මහාචාර්යවරයා පිළිබඳ කුඩා දරුවෙකුගේ පැහැදීමක් ඇත්නම් බොහෝ විට ඒ බොළඳ ලපටි කාරණා වලටය. එසේම එම කාරණාවල සාවද්‍ය බවක්ද පැවතිය හැක
- එලෙසම තථාගත භාවය අපට වැටහෙන්නේ අප දන්නා ලෙසටය. අපගේ නුවණට සාපේක්ෂවය
- බුද්ධ ශාසනය තුළ, ඇතැම් විට අප නුගුණ ලෙස හඳුනාගෙන ඇති දෑ ගුණයන්ය
- එලෙසම ගුණ ලෙස හඳුනාගෙන ඇති දෑ ද ඇතැම් විටෙක නුගුණය
- දිය ඇලි, ගංගා, ගහ කොළ, සතා සිවුපාවන් ආදී සොබා දහමෙහි විචිත්‍රත්වයක් දැකිය හැකි වන්නේ ආලෝකය ඇති විටය
- සිටින්නේ අඳුරේ නම් කොපමණ උත්සහ කලත් විචිත්‍රත්වයක් දර්ශනය වන්නේ නැත
- එලෙසම අනන්ත ගුණ ඇතැයි අප අසා ඇති තථාගතයන් වහන්සේ හඳුනා ගැනීමට අප තුළ ප්‍රඥාව නැමති ආලෝකය පැවතිය යුතුය
- අපගේ ප්‍රඥාවේ ප්‍රභාෂ්වර භාවය කොපමණද, එපමණ ප්‍රමාණයට උන්වහන්සේගේ ගුණ ආදිය ද වැටහෙනු ඇත
250. රුවල
- රුවලක් ගැසූ බෝට්ටුවක් සුළඟේ ග්‍රහණයට නතුවන්නේ රුවල ඇති තුරු පමණි. යම් දිසාවකට හමන්නේ ද එම දිශාවට බෝට්ටුව ද නිරායාසයෙන් ඇදී යාම සිදුවේ
- එය නැවතීමට රුවල් බෑම මිස අනෙක් පැත්තට පැදවීම ආදී ක්‍රියාවන් අනුවණ සහගතය
- සංසාරය යනු සුළඟකි. මම නැමැති බෝට්ටුව මෝහය නැමැති රුවල උපකාරයෙන් සසර පුරා ඇදී යාම සිදුවේ
- මෝහය තබාගෙන ආශාවන් දුරු කිරීමක් කළ නොහැක. එය රුවල් ගසා ඇති බෝට්ටුවක් විරුද්ධ දිශාවට පැදවීමක් වැනිය. පැදවීම නතර කළ විට සිදුවන්නේ නැවතත් ගසාගෙන යෑමය
- මෝහය යනු වැරදි වටහා ගැනීමකි. පඹයෙක් සිටින තැනක පුද්ගලයෙක් සිටිනවා යැයි වැරදියට වටහා ගැනීමක් වැන්නකි
- අප තුළ වැරදි වැටහීම එළිපිටම පවතින අතර එදිනෙදා ක්‍රියාකාරකම් තුළ එය නඩත්තු වීම සිදුවේ
- මම මගේ ආදී ලෙසද ලෝකය ලෙසද මව, පියා ගේ දොර ඉඩකඩම් ආදී ලෙස ද පනවා ගත් නොයෙකුත් වටිනාකම් උපයෝගී කර ගනිමින් රුවල ක්‍රියාත්මකවේ
- මෙය රුවලක් ලෙස නොපෙනුනත් අප නොයෙකුත් ආශාවන් ඔස්සේ ලෝකය දෙසට නිරායාසයෙන් ඇදී යන බව තුළින් එය හඳුනාගත හැකිය
- මෙම නොපෙනෙන, දුකට හේතුවන, රුවලේ සීමාවන් හඳුනගෙන වහා ගලවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුය
249. ඇවිදින සිරගෙය
- ශරීරය යනු ඇවිදින සිරගෙයකි. අප එහි බරපතල වැඩ සහිත, දඬුවම් ලබන සිරකරුවන් වෙමු
- එය විශාල සිර මැදිරියක්ද නොවේ. ප්‍රමාණයෙන් ශරීර ප්‍රමාණය නොඉක්මවයි
- බඩගිනි වේදනාව මෙන්ම එයට ආහාර සැපයීමට සිදුවීම ලැබුණු එක් දඩුවමකි
- මලපහ කිරීම, මුත්‍රා කිරීම, ඒවා සේදීම ආදී අසූචිය සමඟ ලැගීමට සිදුවීම අනෙකකි
- නිරතුරුව ඉරියව් මාරු කිරීමට සිදුවීමද රැවුල කැපීම, කොණ්ඩ කැපීම, දත් මැදීම ආදී නොයෙකුත් පිරිසිදු කිරීම් ලෙස ලැබුණු තවත් දඬුවම්ය
- නිරතුරුව හුස්ම ගැනීම සහ පිට කිරීම මෙන්ම මානසික පීඩාවන් ආදී තවත් බොහෝ දඬුවම්ද වේ
- මේ අතරතුර මෙපමණ දඬුවම් විඳින අපහට තව තවත් දඬුවම් ලැබීම පිණිස වූ කර්මය ආදී නොපෙනෙන දඬුවම්ද වේ
- දඬුවමක් විඳින බව වත් නොවැටහෙන දුර්වල මානසික මට්ටමක් ලැබීම, ලැබුණු තවත් බරපතල දඬුවමකි
- මේ ආකාරයෙන් බොහෝ අසරණ අප හට කිසිදු සාධාරණ හේතුවක් නැතත් නිවන් දැකීම දක්වා බරපතල සිර දඬුවම් නියමවී ඇත. විදර්ශනාව පිණිසය
248. අහිකුණ්ඨකයා
- සර්පයන්ගේ විෂ නොදත් අතදරු ළදරුවන් ආදීන් සර්පයන්ට බිය වන්නේ නැත
- මෙල්ල කිරීම, දමනය කිරීම, දුර්වලතාවය ආදී සර්පයන්ගේ තතු මනාව දත් අහිකුණ්ඨකයන් ආදීන්ද සර්පයන්ට බිය වන්නේ නැත
- ඒ අතරමැද සිටින සර්පයන්ගේ විෂ, හැකියාව, දුර්වලතාවය, මෙල්ල කිරීම, දමනය ආදිය නොදත් පිරිස් පමණක් සර්පයන්ට බිය වීම සිදුවේ
- ඉහත උපැහරණය අනුව වැඩිම හානිය සිදු වන්නේ කිසිවක් නොදත් අතදරු ළදරුවන් හටය
- එලෙසම සිත, කර්මය, විපාක ආදිය පිළිබඳව කිසිවක් නොදත් පෘථග්ජන භාවය යනු එක්තරා අතදරු ළදරු භාවයකි
- මෙම මානසික තත්ත්වය තුළ උපරිම කර්මයක් රැස්වෙන අතර පහසුවෙන් සසර තුළ දුක් වේදනා විඳීමට උරුම වීමට හේතු සකස් වේ
- මේ සිත, කර්මය ආදිය පිළිබඳව මනාව දත් තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්ය ශ්‍රාවකයන් සිතට බිය වන්නේ නැත
- කර්මය බලගැන්වීම වැළැක්වීම පිණිස වූ නොයෙකුත් උපායන් උන්වහන්සේලා මනාව හඳුනන්නේ ය
- තවද උපාය දන්නා අපායේ නොවැටේ ලෙස සිංහල ජන වහර තුළ කියමනක්ද සම්මත වී ඇත්තේ අපගේ මුතුන් මිත්තන් බොහෝමයක්ද මාර්ගඵල ලැබූ ආර්ය ශ්‍රාවකයන් වූ හෙයිනි
247. කොමඩු
- ආදීනවයකින් අවදානමකින් තොරව සත්වයාගේ ආශාවන් සහ අවශ්‍යතාවයන් පමණක් සපුරාගත හැකි ක්‍රමයක් ලෝකය තුළ නොමැත
- ආහාරයක් සපයා ගැනීමේදී පවා ආදීනවයන් ක්‍රියාත්මක දචචචචචචවේ
- උදාහරණයක් ලෙස අවශ්‍යතාවය කොමඩු පළුවක් වුවත් පළු ආකාරයෙන් කොමඩු පවතින්නේ නැත. බොහෝ විට ගෙඩියක්ම මිලදී ගැනීමට සිදුවනු ඇත
- කෑමට හැකි වන්නේ මදය වුවත් කොමඩු සමග අනවශ්‍ය පොතු සහ බීජ ආදියද අකැමැත්තෙන් වුවත් මිලදී ගැනීමට සිදුවේ
- කැමැත්ත පවතින්නේ ප්‍රණීත කොමඩු වලට වුවත් වෙළඳපොළේ පවතින්නේ ප්‍රණීත කොමඩු පමණක්ම නොවේ
- එම නිසා ප්‍රණීත කොමඩුම නොලැබීමට යම් අවදානමක්ද පවතී
- කොමඩු ගෙඩියක් ආහාරයට ගත හැකි ආකාරයට සැකසීමට පිහිය, හැන්ද, පිඟාන ආදී යම් යම් උපකරණ සහ භාණ්ඩද මිලදී ගැනීමට සිදුවේ
- හුස්ම ගැනීමේදී පවා ආදීනවයන් ක්‍රියාත්මක වේ
- අවශ්‍යතාවය හුස්ම ගැනීම වූ විට ආදීනව ලෙස හුස්ම පිට කිරීමට සිදුවේ
246. කොක්ක
- කෙළවර වක් වූ හේතුවෙන් කොක්ක තුල නොයෙකුත් දේ පැටලීම සිදුවේ
- කොක්කේ ප්‍රමාණය, ආනතිය, ඇඳීම් බලය ආදිය අනුව පැටලීම සිදුවේ
- කොක්ක කෙළවර කෙලින් වූ විට පැටලීමක් සිදුනොවේ
- එවිට එය තවදුරටත් කොක්කක්ද නොවේ
- එලෙසම පෘතග්ජන සිත යනු ද උපමාවක් ලෙස කොක්කකි
- කැමැත්ත යනු කොක්කේ ප්‍රමාණයයි. එමගින් පැටලීමේ තරම තීරණයවේ
- තණ්හාව නැමැති ඇඳීම හමුවේ එය තව තවත් ශක්තිමත් වේ. ගලවා ගත නොහැකි ලෙස පැටලීම සිදුවේ
- පෘතග්ජන භාවය නැමැති කොක්ක ධර්මය නම් මිටියෙන් තලා ක්‍රමානුකූලව කෙලින් කළ යුතුය
- එවිට පෘථග්ජන භාවය නැමති කොක්ක අහෝසි වන අතර කුමන දේ ස්පර්ශ වුවද පැටලීමක් සිදු නොවේ
245. නොපෙනෙන රෝපණය
- කැමැත්තෙන් හෝ අකැමැත්තෙන්, අඹ ඇටයක් පැල වීමට අදාල අවම හේතූන් සකස් වූ විට අඹ ගසක් හට ගැනීමේ යාන්ත්‍රණය ආරම්භවේ
- අපට නොදන්වාම පස හා බද්ධ වීම, අතු රිකිලි දැමීම, මේරීම සහ විශාල ගසක් බවට පත්වීම නොනවත්වාම සිදුවේ
- නිසි කාලය එළැඹි පසු ඵල හට ගැනීම සිදුවේ. ඵල වල ස්වභාවය, හට ගන්නා වාර ගණන, බීජ වර්ගය ආදිය පාරිසරික බලපෑම් ආදී නොයෙකුත් හේතු අනුව තීරණයවේ
- කර්මයද එලෙසමය. කර්මය කොපමණ බරපතල වුවත් එසැණින් විපාක ලැබෙන්නේ නැත
- කර්මයන් සිදුකළ විට ඒවා අප නොදැනුවත්වම මේරීම සිදුවේ. කර්මය සිදුකළ මොහොතේ සිට සිදුවන්නේ එය නිසි කාලයේ නිසි ප්‍රමාණයෙන් විපාක ලබා දීම පිණිස අවශ්‍ය හේතු සකස්වීමය
- විපාකයන් ප්‍රමාද ලෙස හැඟුණත් කිසිදු අතපසුවීමකින් තොරව මේරීම සිදුවේ
- නියමිත ප්‍රමාණයෙන් මෝරා නිසි කාලයේ විපාකයන් පැමිණෙන්නේ අනපේක්ෂිත ලෙසය
- එම විපාකයන්ගේ තරම, විපාකය ලැබෙන කාලය, විපාක විදිය යුතු කාල පරාසය ආදිය සිදුකළ කර්මයේ ස්වභාවය සහ මානසික මට්ටම ආදිය මත තීරණයවේ
- මේ මොහොතේ වුවද අප කළ කර්ම අපට නොදන්වා මේරීම සිදුවේ. නිසි කාලය එළැඹුණු පසු විපාක ලබා දීම සිදුවනු ඇත. එවිට කිසිදු සමාවක් යෙදෙන්නේද නැත
244. අකීකරු සහ කීකරු සිත
- ඇර දමා ඇති වතුර බටයක් වසා දැමීම අපට කළ හැකි අපට අවනත කාරණයකි
- නමුත් එම කාරණය යම් හෙයකින් නියමිත කාලයේ සිදු නොකළ විට ඉන් සිදුවන හානිය ( ජලය ඉවත් කිරීම, විදුලි බිල ආදිය ) ගෙවාම අවසන් කළ යුතුය
- එලෙසම කර්මයන් ද සකස්වීමට පෙර වැළැක්විය යුතුය. නැතහොත් ඒකාන්තයෙන් එය මෙන් බොහෝ ගුණයක් ගෙවා දැමීමට සිදුවනු ඇත
- ධර්මයට විනයට කීකරු නොවන්නෙකුට ලෝකෝත්තර ගමනක් නැත. ධර්මයක් වඩා සුදුසු වන්නේ පුහුණු කළ කීකරු ආදී ගුණ ඇති උත්තමයන්ට ය
- නුපුහුණු සිතක ස්වභාවය නොයෙකුත් අරමුණු ඔස්සේ සිතිවිලි පථ නිර්මාණය වීමය
- එමගින් පැන නගින නිශ්ඵල තීරණ ජීවන රටාව සංකීර්ණ කරයි. බොහෝ කර්ම සකස් කරයි
- ලෝකෝත්තර ඥානයන් වැඩීම සමඟ සිත නිරායාසයෙන් පාලනය වීමක් සිදුවේ. එවිට සිහියෙන් උපේක්ෂාවෙන් දැකීම නැවත නැවත භාවිත කිරීම තව තවත් පහසුවෙන් සිදු කළ හැකිය
- පුහුණු කළ සිත මෙලොව මෙන්ම පරලොවදී ද යහපත උදාකරනු ඇත
- සිතේ ස්වාමියා ධර්මය වේ. ධර්මය හමුවු විට තම ස්වාමියාට මනාව කීකරු වන්නේ ධර්මය සිතේහි ස්වාමියා බැවිනි
243. දුකෙන්ම උපදින දුක
- මේ ලෝකය තුළ සැප ලෙස පවතින්නේද හඳුනා නොගත් දුකකි
- කර්ම සකස් වීම සඳහා සිත කය වචනය මූලික කරගනිමින් යමක් කළ යුතුය. සිතීම, වචනය මෙන්ම ක්‍රියාවන් ලෙස යම් පරිශ්‍රමයක් දැරිය යුතුය. පරිශ්‍රමය යනු දුකකි
- උදාහරණයක් ලෙස ප්‍රාණඝාතය, හොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම ආදී ක්‍රියාවන්ද දුකකි
- කිසිවෙකුට හසු නොවන සේ උපක්‍රමශීලීව අන්සතු වස්තුව ලබා ගැනීම අවදානම් සහිතවූද දුක් සහිතවූද කාරණයකි
- ලැබුණු වාසියක් ඇත්නම් ඒ හා සසඳන විට එහි විපාක ලෙස සකස් වන දුක, ප්‍රමාණ කළ නොහැක
- එහි ප්‍රතිඵලයක් ලෙස කර්ම පථ, බිය, සැකය සහ හිතේ විසිරීම ආදියද ඇතිවේ
- එය එක අඹ ගෙඩියක් වෙනුවෙන් අඹ වත්තක් බලා ගැනීමක් වැනිය
- තවද දුක නැති කිරීම යනු සැප ලැබීමක් නොවේ. දුක නැති වීමක් පමණි
- සැප නම් අන්තයට නොපැමිණ දුක දුරු වී නිවීමට පත්වීමකි
242. දුක ඉපදීම
- ඇලීම, ගැටීම සහ ලෞකික උපේක්ෂාව ලෙස මෝහයට සාපේක්ෂව උපදින මානසික මට්ටම් පවතී
- මෙය ඇතිවීමට පදනම පිළිබඳ එක්තරා කෙටි සටහනක් පහත පරිදිය
- මනසට සාපේක්ෂව ලෝකය තුළ පවතින්නේ ධාතු ආදී යම් කුඩා අංශුමය ස්වභාවයකි
- නමුත් එය ග්‍රහණය කර ගැනීමට, දුර්වල වූ ආයතනයන්ට නොහැකිය
- ආයතනයන්ට ගෝචර වන්නේ සත්වයෝ පුද්ගලයෝ සහ දේවල් ආදී ලෙසය
- ඒ හේතුවෙන් එය හොඳය මෙය නරකය ආදී ධර්මතාවයක් හට ගනී
- ඒ හේතුවෙන් තණ්හාව, ආශාව සහ උපාදානය ආදිය උපදී
- ඒ හේතුවෙන් ඉපදීම මරණය ආදී ධර්මයන් සහ දුක උපදී
- මුලින් සිදුවූ වැරදි වැටහීම නිවැරදි කළ විට ඉපදීම මරණය මෙන්ම සංසාරගත දුක්ඛයන්ට පාදක සියලු ධර්මතාද අහෝසි වී යනු ඇත
241. දුර්ගන්ධය
- ශරීරය යනු පාලනය කළ හැකි ධර්මතාවයක් නොවේ
- සිදුවන දේ පිළිගැනීම මිස වෙනත් කළ හැක්කක් නොමැත
- ශරීරය තුලින් දහඩිය මෙන්ම මුඛය ආදියේ පවතින දුර්ගන්ධය යම් යම් අවස්ථාවල උසුලා ගැනීමද අපහසුය
- නොයෙකුත් අසූචීන්ගෙන් පිරුණු මේ කය තුළින් නොයෙක් ආකාරයෙන් දුර්ගන්ධය පිටවීම නවතාලිය නොහැක
- සුවඳ විලවුන් ආදිය භාවිතා කළද දුර්ගන්ධය පිටවීමේ වෙනසක් සිදු නොවේ
- සිදුවන්නේ දුර්ගන්ධයට වඩා වැඩි ප්‍රතිශතයකින් සුවඳ වහනය වීමයි
- හඳුනාගත නොහැකි වුවත් එම සුවඳ අතරද අඩු ධාරිතාවයකින් දුර්ගන්ධයද පවතී
- සුවඳ විලවුන් වියළී ගිය පසු නැවත දුර්ගන්ධය මතුවනු ඇත
- කයෙහි පවතින පිළිකුල නැවත නැවත මෙනෙහි කළ යුතුය. පිළිකුල සත්වයාගේ යහපත ආරක්ෂාව පිණිස පවතී
240. ආර්ය ශ්‍රාවකයා
- ආර්ය ශ්‍රාවකයා හටද තථාගතයන් වහන්සේට දෙවැනි වූ උපායශීලී නුවණක් ඇත
- උන්වහන්සේලා කොපමණ කපටිද කියතොත්, කපටිකමක් සිදු කරන්නේ නැත
- කපටිකමක් කළහොත් විපාක ලෙස තමන්ද යම් දිනයක කපටිකමකට හසුවනු ඇත යන නුවණ පවතී
- නැවත කපටිකමකට හසු නොවීමේ කපටිකම ලෙස කිසිවෙකුට කපටිකමක් සිදු කරන්නේ නැත
- එලෙසම කොපමණ රැවටිලි කාරයෙක්ද කියතොත් රැවටීමක් සිදු කරන්නේ නැත
- කොපමණ ද්වේශ සහිතද කිවහොත්, ද්වේශයක් ඇති කර ගන්නේ නැත
- ද්වේශය තිබුණහොත් නැවත උප්පත්තිය සිදුවනු ඇත. එම නිසා නැවත ඉපදීමක් වෙනුවෙන් කළ හැකි උපරිම ද්වේශය, ද්වේශ නොකිරීමයි
- කොපමණ අනුකම්පාවක් සහිතද කිවහොත් උන්වහන්සේලා තුළ කිසිදු අනුකම්පාවක් නැත. අනෙකුත් ගුණ සම්බන්ධවද ඒ ඒ ආකාරයෙන් යෙදේ
- ඒ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා හට අනන්ත ගුණ ඇතැයි කියනු ලැබේ
239. ද්වේශය සහ සිත
- ද්වේශයක් නැතිව සිතක් පවතින්නේ නැත. ද්වේශය යනු සිතෙහි පැවැත්මයි. එම නිසා ද්වේශය සුළු කොට නොතැකිය යුතුය
- ද්වේශය සෘජුව දුරු කළ නොහැක. ඒ වෙනුවට සිදු කළ යුත්තේ ද්වේශයට හේතුව වන මෝහය දුරු කිරීමයි
- අකැමැත්ත ද්වේශයකි. කැමැත්තද එක්තරා ද්වේශයකි. ඉතිරි කොටස අකැමැත්ත වන බැවිනි
- කුඩා ද්වේශයක් වුවද ඇතිවන විට ඇති විය හැකි හානිය අයහපත පිළිබඳව මෙනෙහි කර ද්වේශය දුරු කළ යුතුය
- ආදීනව ලෙස සිතේ විසිරීම ඇතිවේ. කර්ම පථයන් සකස් වේ. අපකීර්තිය ආදිය ඇතිවේ
- හූනියම් කිරීම වැනි පාපකර්ම මෙන්ම පහරදීම සහ තලා පෙලා මරා දැමීම වැනි ක්‍රියාවන්ට හේතු සකස් විය හැක. වාචික ලෙස බැණ වැදීම, නිග්‍රහ කිරීම ආදියද ඇති විය හැක
- ද්වේශය නැවත භාවිතා වීමක් සිදුවන බැවින් පුරුද්දක් බවට පත්වන අතර නැවත ද්වේශයක් හට ගැනීමටද හේතු සැකසේ
- කායිකව ලේ පිච්චීම, අවලස්සන වීම, ඉක්මනින් වැහැරී යාම සහ නොයෙකුත් ලෙඩ රෝග ඇතිවීම පවා සිදුවේ
- සිරගත වීම ආදියේ සිට ආනන්තරිය පාපකර්ම ආදිය සකස් වීම සහ නිර්වාණය මගහැරීම වුවද සිදුවිය හැකි බව මෙනෙහි කළ යුතුය
238. වමනය සංඥාව
- පිඟාන තුළ ලස්සනට පිළිවෙලට ඇති ආහාරය මුඛය හරහා ආමාශයට ඇතුල් වෙයි
- ගිලීමට මොහොතකට පෙර එම ආහාරය පිටතට ගෙන බැලිය හැකිනම් එහි පවතින්නේ වමනයක ස්වභාවයකි
- අපට ප්‍රණීත ලෙස දැනෙන්නේ පිටත වෙන වෙනම ලස්සනට තිබූ ආහාරය නොවේ
- ප්‍රණීත රසවත් ලෙස දැනෙන්නේ මුඛ ද්වාරය තුළ ඇඹරුණු කෙළ හා කලවම් වූ වමනයයි
- තවද ශුක්‍රාණු හා ඩිම්බ යනු මුඛය හරහා ඇතුළු වු වමනයෙන් සකස් වූවකි
- එයින් හටගත් කළලයද එහි වැඩීමද සිදුවන්නේ වමනයෙනි
- අවසානයේ ළමයෙක් බවට පත්වන්නේද හැඩි දැඩි වන්නේද වමනයෙන්මය
- එනම් මෙම ශරීරයේ සියලු කොටස් සකස් වී ඇත්තේ වමනයෙන්ය
- මම යනු අන් ආකාරයෙන් වමනයකි. මෙය තෘෂ්ණාව බිඳීමට භාවිතා කළ හැකි තවත් සංඥාවකි
237. සොහොනක සංඥාව
- මේ මහ පොළොව තුළ සත්වයන් කොපමණ මියගියේදැයි ප්‍රමාණ කළ නොහැක
- අතීතයේ මෙන්ම මේ මොහොතේද ක්ෂුද්‍ර ජීවී ආදීන්ගේ සිට අලි ඇතුන් ආදීන්ද අති විශාල තල්මසුන් ආදී ශරීරද මහපොළොව තුළ භූමදාන වීම සිදුවේ
- සොහොනක් ලෙස නොපෙනුනද තමන්ගේ නිවසේ සිට මේ මහ පොළොවේ සෑම ස්ථානයක්ම සොහොනක් බව විදර්ශනා ඇසට හසුවනු ඇත
- ලස්සන යයි වටින්නේ යැයි සලකන මේ ශරීරයද සොහොනකි
- ආහාරයට ගත් හාල් මැස්සන් මාළුවන් ආදී සත්වයන් මේ ශරීරය තුළ සෘජුවම භූමදාන වීම සිදුවේ
- එළවළුවක් වුවද වක්‍රාකාරයෙන් භූමදාන වීම සිදුවේ
- පැහැදිලි කිරීම: අමුමිරිස්, වට්ටක්කා, බණ්ඩක්කා ආදී එළවළු වුවද ඒවාද සත්වයන්ගේ මාංශ කොටස්මය
- ඒවා පෝෂණය වන්නේ මහපොළොවෙන්ය. මහ පොළොවේ ඇත්තේ සත්වයන්ගේ භූමදාන වූ ශරීර කොටස්ය
- මෙවැනි සංඥා උපදවා ගත් විට ලෝකය කෙරෙහි බැසගෙන පවතින චන්දරාගය ඉතා පහසුවෙන් ඉවත් කළ හැකිය